Thursday, May 28, 2020

ජාතරූපධොවන සූත්‍රය

මහණෙනි, ස්වර්‍ණයාගේ ඖදාරික උපක්ලේශයෝ ඇත්තාහ. එනම්, පස්, වැලි, කැට කැබිලිති යන මේවාය.
’’ ස්වර්‍ණය පස් සෝදන්නෙක් හෝ පස් සොදන්නෙකුගේ අතවැසියෙක් හෝ ඔරුවක දමා සෝදයි. මනාව සෝදයි. සොලව සොලවා සෝදයි.
’’ පස්, වැලි පහකළ කල්හි, නැතිකළ කල්හි, ස්වර්‍ණයාගේ මධ්‍යමවූ උපක්ලේශයෝ ඇත්තාහ. එනම්, කුඩා ගල් කැට, ගොරෝසු වැලි යන මේවාය.
’’ ස්වර්‍ණය පස් සෝදන්නා හෝ පස් සෝදන්නාගේ අතවැසියා හෝ සෝදයි, මනාකොට සෝදයි, සොළවමින් සෝදයි.
’’ කුඩා ගල්, වැලිකැට පහවූ කල්හි, නැතිව ගිය කල්හි ස්වර්‍ණයාගේ සියුම් උපක්ලේශයෝ ඇත්තාහ. එනම්, සියුම් වැලි, කළු වැලි යන මේවාය.
’’ ස්වර්‍ණය පස් සෝදන්නා හෝ පස් සෝදන්නාගේ අතවැසියා හෝ සෝදයි. මනාව සෝදයි. සොළවමින් සෝදයි.
’’එය පහවූ කල්හි, එය නැතිවූ කල්හි, රන් කුඩු පමණක් ඉතිරි වෙත්. රන් කරුවා හෝ රන්කරුවාගේ අතවැසියා හෝ එම රන් කුඩු කෝවෙහි දමා ගිනි පිඹියි. මනාව ගිනි පිඹියි. නැවත, නැවත ගිනි පිඹියි. ගිනි පිඹින ලද, මනාව ගිනි පිඹින ලද, නැවත, නැවත ගිනි පිඹිනලද, ස්වර්‍ණය යෝග්‍ය නොවූයේ, දුරු නොවූ කහ පාට ඇත්තේ, මෘදු නොවූයේ, වැඩට යෝග්‍ය නොවූයේ, බැබලීමක් නැත්තේ, බිඳෙනසුලුවූයේ, රන්කමට මනාව නොපැමිණෙයි.
’’මහණෙනි, රන්කරු තෙමේ හෝ රන්කරු අතවැසි තෙමේ හෝ එම ස්වර්‍ණයට ගිනි පිඹියි. මනාව ගිනි පිඹියි. නැවත, නැවත ගිනි පිඹියි. එසේ ගිනි පිඹින ලද, මනාව ගිනි පිඹින ලද, නැවත, නැවත ගිනි පිඹින ලද, ස්වර්‍ණය, යෝග්‍ය වන්නාවූද, කහපාට දුරුවූද, මෘදුවූද, වැඩට යෝග්‍යවූද, බබළන්නාවූද, නොබිඳෙන්නාවූද, රන්කමට මනාව පැමිණෙන්නාවූද කාලයක් වන්නේය.
’’යම් මේ පළඳනා විශෙෂයකින් ඉදින් රන්පටකින්, ඉදින් කුණ්ඩලාභරණයකින්, ඉදින් ග්‍රීවාභරණයකින්, ඉදින් රන් මාලයකින් කැමති වෙයි නම් ඔහුගේ අර්‍ථය සම්පූර්‍ණ වෙයි.
’’මහණෙනි, එපරිද්දෙන්ම සමථ විදර්‍ශනා භාවනාවන්හි යෙදෙන්නාවූ භික්‍ෂුවට ඕළාරික උපක්ලේශයෝ ඇත්තාහ. එනම්: කාය දුශ්චරිතය, වාක් දුශ්චරිතය, මනො දුශ්චරිතය යන මොහුය.
’’සමාධියෙන් යුත් නුවණැති භික්‍ෂුව, උපක්ලේශයන් පහකරයි. දුරු කරයි. නැවත නූපදින බවට පමුණුවයි.
’’එහ පහවූ කල්හි, දුරුවූ කල්හි, සමථ විදර්‍ශනා භාවනායෙහි යෙදෙන්නාවූ භික්‍ෂුවට මධ්‍යම උපක්ලේශයෝ ඇත්තාහ. එනම්, කාම විතර්‍ක, ව්‍යාපාද විතර්‍ක, විහිංසා විතර්‍ක යන මොහුය.
’’සමාධියෙන් යුත් නුවණැති භික්‍ෂුව එය පහ කරයි. දුරු කරයි. නැති කරයි.
’’එය පහවූ කල්හි, දුරුවූ කල්හි, නැතිවූ කල්හි, සමථ විදර්‍ශනා භාවනාවෙහි යෙදෙන්නාවූ භික්‍ෂුවට සියුම්වූ උපක්ලේශයෝ ඇත්තාහ. එනම්, ජාති විතර්‍ක, ජනපද විතර්‍ක, මට අන්‍යයෝ අවමන් නොකෙරෙත්වායි සිතන විතර්‍ක යන මොහුය.
සමාධියෙන් යුත් නුවණැති භික්‍ෂුව එය පහ කරයි, දුරු කරයි.
දුරු කරයි. නැති කරයි,
’’එය පහවූ කල්හි, දුරුවූ කල්හි, නැතිවූ කල්හි ඉන්පසු ධර්‍ම විතර්‍කයෝම (දශ විදර්‍ශනෝපක්ලේශයෝම) ඉතිරි වෙත්. සමාධිය ශාන්ත නොවේ. ප්‍රණීත නොවේ. කෙලෙස් සංසිඳීමෙන් ලබන ලද්දේ නොවෙයි. එකඟ බවට පැමිණියේ නොවෙයි. උත්සාහයෙන් ක්ලේශයන් නිග්‍රහකොට වළක්වන ලද්දේ වෙයි. මහණෙනි, යම් කලෙක්හි තමා කෙරෙහිම සිටීද, මොනවට හිඳීද, එකඟ බවට පැමිණෙයිද, අරමුණෙහි මනාව පිහිටයිද, කාලය වෙයිද, සමාධිය ශාන්ත වෙයි. ප්‍රණීත වෙයි. කෙලෙස් සංසිඳවීමෙන් ලබන ලද්දේ වෙයි. එකඟ බවට පැමිණියේ වෙයි. උත්සාහයෙන් කෙලෙසුන් නිග්‍රහ කොට නොවළක්වන ලද්දේ වෙයි.
’’විශෙෂ ඥානයෙන් දතයුතුවූ යම් යම් ධර්‍මයකට සිත නමයි නම් කරුණු ඇති ඇති සැටියෙන් විශෙෂ ඥානයෙන් දතයුතුවූ ධර්‍මයන් දත හැකි බවට පැමිණෙයි. හෙතෙම ඉදින් නොයෙක් ඎද්‍ධිවිධි අනුභව කරන්නෙමැයි කැමති වෙයි නම්,
’’එකෙක්ව බොහෝ දෙනෙක් වෙත්. බොහෝ දෙනෙක්ව එකෙක් වෙයි. ප්‍රකට බවටද, මුවා වීමටද, භිත්තිය සරසටද, පවුර සරසටද, පව්ව සරසටද, අහසෙහි මෙන් නොගැටෙමින් යෙයි. ජලයෙහි මෙන් පොළවෙහිද කිමිදීම මතුවීම කෙරෙයි. පොළවෙහි මෙන් ජලයෙහිද දිය නොබෙදමින් යයි. පියාපත් ඇති පක්‍ෂියෙකු මෙන් අහසෙහිද පර්‍ය්‍යඞ්කයෙන් ගමන් කෙරෙයි. මෙසේ මහත් ඎද්‍ධි ඇත්තාවූ, මෙසේ මහත් ආනුභාව ඇත්තාවූ, මේ සඳ හිරු දෙදෙනද අතින් පිරිමදී. බඹලොව දක්වාත් කයින් වසඟයෙහි පවත්වයි. කැමතිවන්නේ නම් කරුණු ඇති ආකාරයෙන් දෙයෙහි හැකි බවට පැමිණෙන්නේය.
’’හෙතෙම ඉදින් මනුෂ්‍යත්වය ඉක්ම සිටියාවූ දිව්‍ය ශ්‍රොත ධාතුවෙන් දුරවූද, සමීපවූද, දිව්‍යවූද, මනුෂ්‍යවූද, දෙවැදෑරුම් ශබ්දයන් අසන්නෙමැයි කැමතිවෙයි නම් කරුණු ඇති සැටියෙන් ශබ්ද ඇසිය හැකි බවට පැමිණෙයි.
’’ඉදින් හෙතෙම අන්‍ය සත්ත්‍වයන්ගේ, අන්‍ය පුද්ගලයන්ගේ සිත් තමාගේ සිතින් දැනගන්නෙමි, රාග සහිත සිත, රාග සහිත සිතයයි දැනගන්නෙමි. රාග රහිත සිත, රාග රහිත සිතයයි දැනගන්නෙමි. ද්වේෂ සහිත සිත, ද්වේෂ සහිත සිතයයි දැනගන්නෙමි. මොහ සහිත සිත මොහ සහිත සිතයයි දැනගන්නෙමි. විසුරුණු සිත, වික්‍ෂිප්ත සිතයයි දැනගන්නෙමි. මහද්ගත සිත. මහද්ගත සිතයයි දැනගන්නෙමි. අමහද්ගත සිත අමහද්ගත සිතයයි දැනගන්නෙමි. සඋත්තර සිත, සඋත්තර සිතයයි දැනගන්නෙමි. අනුත්තර සිත, අනුත්තර සිතයයි දැනගන්නෙමි. සමාහිත සිත, සමාහිත සිතයයි දැනගන්නෙමි. අසමාහිත සිත අසමාහිත සිතයයි දැනගන්නෙමි. අවිමුත්ත සිත අවිමුත්ත සිතයයි දැනගන්නෙමි. විමුත්ත සිත විමුත්ත සිතයයි දැනගන්නෙමි. කැමැති වෙයි නම් එහි කරුණු ඇතිසැටියෙන් හැකි බවට පැමිණෙයි.
’’ඉදින් හෙතෙම පෙර විසූ ස්කන්‍ධයන් සිහි කරන්නෙමියි කැමති වෙයි නම්, එනම් එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති සතලිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්‍ෂයක්ද, නොයෙක් නැසෙන කල්පයන්ද, නොයෙක් වැඩෙන කල්පයන්ද, නොයෙක් නැසෙන හා වැඩෙන කල්පයන්ද සිහිකෙරෙයි. (කෙසේද) ’’මම අසවල් තැන උපන්නෙම් මෙබඳු නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්‍ණ ඇත්තෙක් වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙසේ සැප දුක් වින්දෙක් වීමි. මෙබඳු ආයුෂයක් කෙළවරකොට ඇත්තෙක් වීමි. මම එයින් චුතවූයෙමි. අසවල් තැන උපනිමි. මෙසේ නොයෙක් පෙර විසූ ස්කන්‍ධයන් සිහි කරන්නෙමියි කැමති වේ නම් එය කරුණු ඇති සැටියෙන් කළ හැකි බවට පැමිණෙයි.
’’හෙතෙම පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්ම පවත්නාවූ දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, යහපත් වර්‍ණ ඇත්තාවූද, දුර්‍වර්‍ණ ඇත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කම්වූ පරිද්දෙන් පැමිණියාවූ, සත්ත්‍වයන් දැනගණී. කැමතිවේනම් එය කරුණු ඇති සැටියෙන් කළ හැකි බවට පැමිණෙයි.
’’ඉදින් හෙතෙම ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධියත්, අර්හත් ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහි තෙමේම විශේෂ ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කරන්නෙමැයි කැමති වෙයි නම් එය කරුණු ඇති සැටියෙන් කළ හැකි බවට පැමිණෙන්නේය.

No comments:

Post a Comment