Friday, June 19, 2020

චතුපාරිශුද්ධි සීලය ( සතර සංවර ශිලය )


පාතිමොක්ඛසංවර සීලය
ඉන්ද්‍රිය සංවර සීලය
ආජීවපාරිසුද්ධි සීලය
පච්චයසන්නිස්සිත සීලය
ලෙස සීල සතරක් ඇත්තේ ය. ඒ සතර සීලයට චතුපාරිසුද්ධි සීලයයි කියනු ලැබේ. මේ සතර සීලය සාමණේර උපසම්පදා දෙපක්ෂයට ම සාධාරණය වෙනස සාමණේරයන් ගේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයෙහි සිකපද අඩුවීම පමණෙකි.

ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය

තථාගතයන් වහන්සේ විසින් පනවා ඇති විනය සිකපදයන් පිළිබඳ වූ ශීලය ප්‍රාතිමෝක්ෂ සංවරශීල නමි. සාමණේරයන් විසින් රැකිය යුතු සිකපද සමූහය සාමණේරයන් ගේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ය. උපසම්පන්නයන්ට පනවා ඇති සිකපද සමූහය උපසම්පන්නයන් ගේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ය.
තමා වසන පෙදෙස පිරිසුදුකර ගැනීම, රෝගීන්ට, මහල්ලන්ට, සිල්වතුන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, උපස්ථාන කිරීම, එමෙන්ම දාගැබ් ප්‍රතිපිළිම ආදියට වැඳුම් පිදුම් කිරීම, මිත්‍යාදෘෂ්ටියෙන් ධර්මය පිළිබඳව වැරැදි මත දරන අය ඇසුරු නොකිරීම, හුදු විනෝදාශ්වාදය සඳහා නෘත්‍ය දර්ශන බැලීමෙන් වැළකීම, ධර්මය ඉගෙනීම හා පිළිපැදීම එමෙන්ම ඇඳුමෙහි පැළඳුමෙහි සහ හැසිරීමෙහි සංවරවීම

ඉන්ද්‍රිය සංවර ශීලය‍

චක්ඛු, සෝත, ඝාන, ජිව්හා, කාය - මන කියා රූපාදි අරමුණු ගන්නා ඉන්ද්‍රිය සතක් ඇත්තේ ය. රූප - ශබ්ද - ගන්ධ - රස - යන මේවා චක්ෂුරාදි ඉන්ද්‍රිය සයෙන් ගන්නා අරමුණු ය. සිහියෙන් යුක්ත නො වන ධර්මසංඥාවෙන් තොර ව වාසය කරන්නා වූ පුද්ගලයන්ට චක්ෂුරාදි ඉන්ද්‍රියයන්ගෙන් ගන්නා රූපාදිය සම්බන්ධයෙන් බොහෝ සෙයින් ඇති වන්නේ ඇලීම හා ගැටීමය එනම් අල්ලා ගැනීම හා විරෝධය වේ . ඇලීමය කියනුයේ ලෝභ නම් වූ අකුශල මූලය ය. විරෝධ යයි කියනුයේ ද්වේෂ නම් වූ අකුශල මූලය වන අතර යම්කිසි අරමුණක් ගැන ඇලීම හෝ විරෝධය ඇති වුව හොත් එය අනුව අකුශලචිත්ත පරම්පරාවක් ම ඇති වෙයි එමගින්  ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ද බිඳී යන අතර එමගින්  ඉන්ද්‍රිය ප්‍රත්‍ය රුප සම්බන්ද තෘෂ්ණාව හා ද්වේෂ අකුශලයන් ඇතිවීම සිදුවේ එහෙයින් අකුශලයන් ඇති නොවන පරිදි මනා සිහියෙන් යුක්ත විය යුතුය එවන් වූ සංවර ශිලය ඉන්ද්‍රිය සංවර ශීලය නම් වේ

ආජීවපාරිශුද්ධි ශීලය

ලාබ උපකාර හා තාන්න මාන්න ආදිය ලබනු පිණිස කටයුතු නොකොට නො මනා ක්‍රියාවලීන් වැලකී පිඬුසිඟා ගැනීම් ආදියෙන් දැහැමින් ජීවත් වීම එනම් මිථ්‍යා ජීවිකාවෙන් මිදී සම්මා අජිවය තුලට පිවිසි සිටීම ආජීවපාරිශුද්ධි ශීලය ය.

ප්‍ර‍ත්‍යය සන්නිශ්‍රිත ශීලය

පිඬු සිඟා ගනිමින් දැහැමින් ලද ද පිළිගන්නා වූ ද පරිභෝග කරන්නා වූ ද  සිවු පසය ප්‍රයෝජන වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ ප්‍ර‍තිකූල වශයෙන් හෝ ප්‍ර‍ත්‍යවේක්ෂා කොට පරිභෝග කරන බව මනා වූ කොට දැකීම හෙවත් අවස්ථාවන්හි ඇතිවිය හැකි සම්මෝහයත් තණ්හාවත් මදයත් ඇතිවීම වළක්වන ප්‍ර‍ත්‍යවේක්ෂා ඥානයෙන් සිටීම ප්‍ර‍ත්‍යයසන්නිශ්‍රිත ශීලය යි

 සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤො - චිත්තං පඤ්ඤංච භාවයං’ ශිලයක පිහිටලා සමථ විදර්ශනා වඩන්න නුවණැති වන්න

Thursday, June 4, 2020

සත්තිස් බෝදි පාර්ශික ධර්ම.


බුදු දහමේ ඇති ලෝකෝත්තර ඥාණයන් ලැබීමට උපකාරවන ධර්මයන් පොදුවේ බෝධි පාක්‍ෂික ධර්ම ලෙස හැඳින්වේ. මේවා 37ක්ඇති අතර කොටස් 7කට බෙදේ. ඒවා නම් පහත පරිදි වේ.

1 සතර සතිපට්ඨානය
2 සතර සම්මප්පධාන
3 සතර ඉඬිපාද
4 පංච ඉන්ද්‍රිය
5 පංච බල
6 සප්ත බොජ්ඣංග
7 මග්ගංග (ආර්ය අෂ්ටාංගික මාර්ගය)

** සතර සතිපට්ඨානය යනු **

* කායානුපස්සනා සතිපට්ඨානය
* වේදනානුපස්සනා සතිපට්ඨානය
* චිත්තානුපස්සනා සතිපට්ඨානය
* ධම්මානුපස්සනා සතිපට්ඨානය
මේ සතර සතිපට්ඨානය නිවන් අවබෝධය පිණිසම වැඩිය යුතු භාවනා කර්මස්ථාන වේ මෙහි කායානුපස්සනා වට අදාල සියලු භාවනා තුලින් සතර සතිපට්ඨානය වැඩිය හැක. තවද කායානුපස්සනාව සමථ භාවනාවට නොව මෙය විදර්ශනාව සදහා වේ.
"ඒකායනෝ අයං භික්‍ඛවේ සත්ථානං විශුද්ධියා - සෝක පරිද්ධවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සවිඡිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා"
එහි අරුත නම්
මහණෙනි එකම එක මාර්ගයක් ඇත සත්වයාගේ පිරිසුදු වීම පිණිස, ශෝක කිරීම, හඬා වැලපීම්, සුසුම් හෙලීම් දුරලීම පිණිසත්, දුක්ඛ දෝමනස්සයාගේ නිරුද්ධිය පිණිසත් සිව්සස් ධර්මයන්ගේ අවබෝධය පිණිසත්, එනම් සතර සතිපට්ඨානයයි.
**සතර සම්මප්පධාන**
සතර සම්‍යක්ප්‍රධාන වීරිය වන අතර එනම් (ඡන්දං ජනේති) කැමැත්ත උපදවා ගනියි. (වායාමති) වෑයම් කරයි. (වීරියං ආරමති) උත්සාහය ඇතිකර ගනී (චිත්තං පග්ගණ්හාති) සිත දැඩි කොට ගනියි. (පදහති) බලවත් වීර්යයක් යොදවයි.
* නූපන් අකුසල් නූපදවීමට කරන වීරිය
* උපන් අකුසල් ප්‍රහාණය කිරීමට කරන වීරිය
* නූපන් කුසල් ඉපදවීමට කරන වීරිය
* උපන් කුසල් වැඩිදියුණු කිරීමට කරන වීරිය
**නූපන් අකුසල් නූපදවීමට කරන වීරිය
මෙහිදී සසර දුකින් නිදහස් වනු කැමැති ශ්‍රාවකයා තමා තුළ හට නො ගෙන ඇති වූ ළාමක වූ රාග, ද්වේශ, මෝහ මුල් වීමෙන් ඇතිවන අකුසල ධර්මයන් හටනොගැනීම පිණිස කැමැත්ත උපදවා ගනියි. වෑයම් කරයි. උත්සාහය ඇති කරගනියි. සිත දැඩිකොට ගනියි. බලවත් වීර්යයක් යොදවයි.


**උපන් අකුසල් ප්‍රහාණය කිරීමට කරන වීරිය
තමා තුළ හටගෙන තිබෙන්නා වූ රාග, ද්වේශ, මෝහ මුල් වීමෙන් ඇති වූ අකුසල් ධර්මයන් ප්‍රහීණ කර ගැනීම පිණිස කැමැත්ත උපදවා ගනියි. වෑයම් කරයි. උත්සාහය ඇති කරගනියි. සිත දැඩිකොට ගනියි. බලවත් වීර්යයක් යොදවයි.


**නූපන් කුසල් ඉපදවීමට කරන වීරිය
තමා තුළ හට නොගත්තා වූ සීල, සමාධි. ප්‍රඥා ආදී කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස කැමැත්ත උපදවා ගනියි. වෑයම් කරයි. උත්සාහය ඇති කරගනියි. සිත දැඩිකොට ගනියි. බලවත් වීර්යයක් යොදවයි.


**උපන් කුසල් වැඩිදියුණු කිරීමට කරන වීරිය
තමා තුළ හට ගෙන තිබෙන්නා වූ සීල, සමාධි, ප්‍රඥා ආදි කුසල් ධර්මයන් නොපිරිහී පවත්වා ගැනීම පිණිස වැඩි වැඩියෙන් ඇති කර ගැනීම පිණිස, බලවත්ව ඇති කර ගැනීම පිණිස කැමැත්තක් , වෑයමක්, උත්සාහයක්, අධිෂ්ඨානයක්, වීරියක් ඇතිකර ගනියි.


**සතර ඉඬිපාද**
සතර ඉර්ධිපාද යනු සෘද්ධීන්ට පැමිණීමට උපකාරක ධර්මයන්ට . යම් ධර්ම කෙනකුන් ගේ බලයෙන් උපකාරයෙන් සෘද්ධිය ලබා ධර්මයෝ සෘද්ධිපාද නම් වෙති. සෘද්ධිපාද සතර පහත පරිදි වේ,
* ඡන්ද ඉර්ධිපාද යනු යම් කිසිවකට ඇති කැමැත්තයි.
* චිත්ත ඉර්ධිපාද යනු, අරමුණ කෙරෙහි බොහෝ කොට නැමුණා වූ
හිතයි.
* වීරිය ඉර්ධිපාද යනු අරමුණ සඳහා වූ වීර්‍යයයි.
* වීමංසා ඉර්ධිපාද යනු, විමර්ශන නුවණ නොහොත් සතර
මාර්ගපඅපාය දුක්ඛයාගේ භයානකත්වය, විශාලත්වය දක්නා වූද,
සංසාර දුක්ඛයාගේ විශාලත්වය දක්නා වූද, ඉර්ධියෙහි අනුසස්
දක්නා වූද, ස්කන්ධාදී ගම්භීර ධර්මයන්හි හැසිරීමට සමර්ථ වන්නා වූද ඥාණයයි.


**පංච ඉන්ද්රිය ධර්ම**

නාමරූප ධර්මයන්හි අධිපති හෙවත් අන්‍යයන් කෙරෙහි තමන්ගේ තමාගේ ආධිපත්‍ය පවත්වන්නා හෙවත් අනුකූල කරවා ගැනීමට සමත් වූ ධර්මයෝ ඉන්ද්‍රිය ධර්මයෝ වේ

* සද්ධා ඉන්ද්‍රිය - පින් පව් හා එහි විපාක ඇතිබව පිළිගැනීමයි බුද්ධගුණාදිය පිළිගන්නා ස්වභාවයෙන් යුක්ත බවයි
* වීර්ය ඉන්ද්‍රිය - කිසියම් ක්‍රියාවක් කිරීමෙදී එය නිමා නොකොටඑක දිගට ක්‍රමානු කුල ලෙස තම අනුකුල පරිද්දෙන් පවත්වාගන්නා වූ මානසික ශක්තියයි
* සති ඉන්ද්‍රිය - සිත අකුසලයේම (පඤ්චකාම විෂයයෙහි හා පාපයෙහි) පවත්වන්නට නොදී කුශල තුල පවත්වා ගැනීමට තම සිත අනුකුල කර ගැනීම හෙවත් සිහිය පිහිටුවා ගැනීමට වූ බලයි
* සමාධි ඉන්ද්‍රිය - තම සිත නොයෙක් ආකාරයන්ට යොමු වන්නට නො දී එක් අරමුණක එක් වරකදී එක දෙයකට පමණක් සිත් යොමු කිරීමට පිහිටවන ධර්ම තාවයයි
* පඤ්ඤි ඉන්ද්‍රිය - මනා නුවනින් යුක්තව ඉතා නිරවද්‍ය ලෙස ඇත්ත අතිසැටියට තම සිත තුල හටගන්නා අරමුණු දැනගැනීමට ඇති ධර්මතාවයයි

**පංච බල**

* සද්ධාබල - තුනුරුවන් කෙරේ වූ අචල පැහැදීම,ප්‍රසන්න සහගත වූ හැගීම හා විස්වාසය තුල ඇතිවන්නා වූ බලයි
* විරිය බල - අකුසල විතර්ක යටපත් කිරීමටත් කුසල විතර්ක දියුණු කරලීමටත් ඇති හැකියා        ශකිතියයි
* සති බල - තම සිත හා කය පිළිබද මනා අවධානය හා සතිමත් බවයි
* සමාධි බල - තම සිතෙහි එකග බවයි එය වර්තමානයේ පවත්වා ගැනීමයි
* පඤ්ඤා බල - ආර්ය ශ‍්‍රාවකයා තුල ඇතිවෙන්නා වූ කුසලය
අකුසලය, කළයුත්ත නොකළයුත්ත, සුදුස්ස නොසුදුස්ස වැනි කරුණු නුවණින් දැකීම හෙවත්
මෝහයෙන් මුල නොවී ඇත්ත ඇතිසැටියෙන් දැන දැක ගැනීමේ ශක්තියයි

**සප්ත බොජ්ඣංග**

* සති සම්බොජ්ඣංගය
* ධම්මවිචය සම්බොජ්ඣංගය
* විරිය සම්බොජ්ඣංගය
* පීති සම්බොජ්ඣංගය
* පස්සද්ධි සම්බොජ්ඣංගය
* සමාධි- සම්බොජ්ඣංගය
* උපෙක්ඛා සම්බොජ්ඣංගය
සංසාරයෙන් එතරවීමට හේතු වන සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා යන ධර්ම වඩන ලද්දා වූ නැවත නැවත වඩන ලද්දා වූ මේ බෝධ්‍යංගයෝ සත්දෙන සංසාරය නමැති මෙතෙරින් නිවන් නමැති පරතෙරට යාම පිණිස පවත්නාහ.


**සති සම්බොජ්ඣංගය

අකුසලය මත සිත මෙන්ම කයද පත්වන්නට නොදී ධර්මය මත සිත පිහිටුවීම අවශ්‍ය අරමුණු මතු කරදීමේ සිහිය හෙවත් මාර්ගඥානයට හේතු වන සිහිය වේ


**ධම්මවිචය සම්බොජ්ඣංගය

සත්ත්ව පුද්ගල ආත්මාදි වශයෙන් පෙනී සිටින පරමාර්ථ රූපාරූප ධර්මයන් ගේ නියමාකාර ස්වරුපයෙන් පිරිසිඳ දැනීමෙහි දැකීමෙහි සමත් වූ ධර්ම විෂයෙහි තියුණු නුවණය


**විරිය සම්බොජ්ඣංගය

ලෝකෝත්තර මාර්ගය තුල ගමන් කිරීම සදහා බලවත් උනන්දුව නොපසුබට උත්සාහය ඇතිකරවන්නා වූ මෙන්ම තම අරමුණ තෙක් ගමන් කරවන්නා අනුබල දෙන්නා වූ බලවත් චිත්ත මෙහෙයවීමේ වීර්ය වේ


**පීති සම්බොජ්ඣංගය

ලෝකෝත්තර මාර්ගය තුල ගමන් කිරීමේදී අල්පෙක්ෂ දේ පිළිබද නොසතුට ඇති නොකරගන්නා වූ සිත් මෙහෙයවීම මෙන්ම යෝගක්‍රියාවේ දී යෝගාවචරයාගේ සිත පිනවන්නා වූ බලවත් චිත්ත ක්‍රියාවලියයි


**පස්සද්ධි සම්බොජ්ඣංගය

යෝගක්‍රියාවේ දී යෝගාවචරයාගේ සිත හා කය ඒකාරම්මණයක පැවතීමෙන් ඇතිවන්නා වූ තැවීම සැලීම හා වෙහෙස පස්සද්ධීන් විසින් සන්සිඳවනු ලැබේ


**සමාධි- සම්බොජ්ඣංගය

සිත විවිද අරමුණු වල වික්ෂිප්ත වන්නට නොදී නැවත නැවත එකම අරමුණක පිහිට වන්නා වූ , අරමුණක දැඩි කොට පිහිටවන්නා වූ සමාධ් බලයි


**උපෙක්ඛා සම්බොජ්ඣංගය

වීර්‍ය්‍යය හා සමාධිය යන කරුණු දෙකම එකහා සමාන ලෙස පවත්වා ගනිමින් සිත අලස බවට පැමිණීමට හෙවත් හැකිළෙන්නට පසු බසින්නට නො දී සැලෙන්නට නො දී භාවනා කෘත්‍යයේ දී සිත සම තබන්නා වූ බලය වේ


මේ වන් ආකාර සප්ත බොජ්ඣංගය අනුක්‍ර‍මයෙන් වැඩී අවසානයේ දී මේබොජ්ඣංගය සප්තයම ලෝකෝත්තර මාර්ග ඥානය ඉපදවීමට සහාය වන්නේ .


**ආර්ය් අෂ්ටාංගික මාර්ගය**


* සම්මාදිට්ඨියය
* සම්මාසංකප්පයය
* සම්මාවාචාවය
* සම්මාකම්මන්තයය
* සම්මාආජීවයය
* සම්මාවායාමයය
* සම්මාසතියය
* සම්මාසමාධියය


නිවනට පැමිණීමේ උපාය මාර්ගය මෙන්ම නිවන් ලැබීමේ ප්‍ර‍තිපත්තිය වන මෙය දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා වේ
මෙහි ධර්ම අටක් හෙවත් අංග අටක් ඇති බැවින් එයට(අට්ඨංගික මග්ග) අෂ්ටාංගික මාර්ගය යි කියනු ලැබේ මෙහි මග්ග යන්නෙහි තේරුම ප්‍ර‍තිපදාවය - උපායය යනු යි.
අංග අටක් ඇත්තා වූ මාර්ගයෙන් කෙලෙස් දුරු කරනු ලැබේ. පුද්ගලයා ආර්‍ය්‍ය භාවයට පමුණුවනු ලැබේ. පුද්ගලයාට ආර්‍ය්‍ය ඵලය ලබා දෙනු ලැබේ. බැවින් මාර්ගයට (අරිය අට්ඨංගික මග්ග) ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය යි කියනු ලැබේ. එනම් ඉහත ප්‍රතිපත්ති අට වේ


**සම්මාදිට්ඨියය

දුක ගැන දැනීමක්, දුක ඇති වීමේ හේතුව ගැන දැනීම, දුක්ඛනිරෝධය හෙවත් නිවන ගැන දැනීම, නිවනට පැමිණෙන මඟ ගැන දැනීමක් වේ යන්නා වූ කරුණු දැනගැනීම වේ එනම් සක්කාය දිට්ඨියය නැතිවීමයි.


**සම්මාසංකප්පයය

නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පය, අව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය යන තෙවැදෑරුම් කල්පනා වේ එනම් යහපත් වූ කල්පනාව


**සම්මාවාචාවය

බොරු කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, පරුෂ වචනයෙන් වැළකීම, සම්ඵප්‍ර‍ලාපයෙන් වැළකීම මෙය සම්මාවාචාය වේ


**සම්මාකම්මන්තය

ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තා දානයෙන් වැළකීම, කාමමිථ්‍යාචාරයෙන් වැළකීම යන මෙකරුණු සම්මාකම්මන්තය යි


**සම්මාආජීවය

ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ මිථ්‍යාආජීවය හැර සම්‍යගාජීවයෙන් ජීවිකාව කෙරේද පැවැත්ම සඳහා කරන කාය වාග් දුශ්චරිතයන්ගෙන් හා නුසුදුසු ක්‍රියාවලින් වැළකීම සම්මාආජීවය යි


**සම්මාවායාමය

මේ ශාසනයෙහි ආර්ය තෙමේ ස්වසන්තානයෙහි අතීතයෙහි නූපන්නා වූ ලාමක වූ අකුශල ධර්මයන් මතු ස්වසන්තානයෙහි ඇති නො වන පිණිස ඕනෑ කෙරේ , උත්සාහ කෙරේ , කායික චෛතසික වීර්‍ය්‍යයන් යොදවා , වීර්‍ය්‍යයෙන් සිත ඔසවා මහත් කොට වීර්‍ය්‍ය කෙරේ , උපන්නා වූ ලාමක වූ අකුශල ධර්මයන් ප්‍ර‍හාණය පිණිස ඕනෑ කෙරේ , උත්සාහ කෙරේ කායික චෛතසික වීර්‍ය්‍යයන් යොදවා , සිත ඔසවා , මහත් කොට වීර්‍ය්‍ය කෙරේ , උපන් කුශලධර්මයන් ගේ පැවැත්ම පිණිස - නො නැස්ම පිණිස නැවත නැවත ඇති වනු පිණිස මහත් වනු පිණිස වැඩීම පිණිස සම්පූර්ණ වීම පිණිස ඕනෑ කම් කෙරේ , උත්සාහ කෙරේ , කායික චෛතසික වීර්‍ය්‍යයන් යොදවා , වීර්‍ය්‍යයෙන් සිත ඔසවා , මහත් කොට වීර්‍ය්‍ය කෙරේ , මෙය සම්මාවායාමය වේ.


**සම්මාසතිය

ආර්ය තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත වූයේ, කාය කොට්ඨාසයන් මනා කොට දක්නා නුවණින් යුක්ත වූයේ, කායකොට්ඨාසයන්හි පිහිටි සිහියෙන් යුක්ත වූයේ, දෙතිස් කොටසක් ඇති මේ කයෙහි කේශාදි කායකොට්ඨාසයන් නැවත නැවත සිතින් බලමින් කය කෙරෙහි ඇලීම් ගැටීම් දෙක දුරු කොට වාසය කෙරේ .ත්‍රිවිධ වේදනාවන් මැනවින් දක්නා නුවණින් යුක්ත වූයේ, වේදනාවන්හි පිහිටි සිහියෙන් යුක්ත වූයේ, ත්‍රිවිධ වේදනාවන්හි වේදනාව නැවත නැවත සිතින් බලන්නේ වේදනා සංඛ්‍යාත ලෝකයෙහි ඇලීම්-ගැටීම් දෙක දුරු කොට වෙසේ , ආර්ය තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත වූයේ, සරාගාදි චිත්තයන් මැනවින් දක්නා නුවණින් යුක්ත වූයේ, චිත්ත කොට්ඨාසයන්හි පිහිටි සිහියෙන් යුක්ත වූයේ, චිත්තයන්හි චිත්තය නැවත නැවත සිතින් බලමින් චිත්ත සංඛ්‍යාත ලෝකයෙහි ඇලීම්-ගැටීම් දෙක දුරු කොට වෙසේ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත වූයේ, නීවරණාදි ධර්ම මැනවින් දක්නා නුවණින් යුක්ත වූයේ, නීවරණාදි ධර්මයන්හි පිහිටි සිහියෙන් යුක්ත වූයේ, නීවරණාදි ධර්මයන්හි ධර්මය නැවත නැවත සිතින් බලමින් ධර්ම සංඛ්‍යාත ලෝකයෙහි ඇලීම් - ගැටීම් දෙක දුරු කොට වෙසේ මෙය සම්මාසතිය වේ

**සම්මාසමාධිය

ආර්ය තෙමේ කාමයන් කෙරෙන් වෙන් අකුශලයන් කෙරෙන් වෙන් විතර්ක සහිත වූ, විචාර සහිත වූ කාය චිත්ත විවේකයන් නිසා හටගත් ප්‍රීතිය හා සුඛය ඇත්තා වූ ප්‍ර‍ථමධ්‍යානය උපදවා වාසය කෙරේ , හෙතෙම විතර්ක විචාරයන් සන්සිඳවීමෙන් ස්වසන්තානයෙහි හටගත් සම්ප්‍ර‍සාදයෙන් යුක්ත වූ චිත්තයා ගේ එකඟ බව වූ විතර්ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත්තා වූ ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීය ධ්‍යානය උපදවා වාසය කෙරේ හෙතෙම ප්‍රීතිය කෙරෙහි ඇල්ම හැර උපේක්ෂක වෙසේ , සිහියෙන් හා නුවණින් යුක්ත වූයේ කයින් සුඛය විඳින්නේ වෙයි. යම් තෘතිය ධ්‍යානයක් නිසා ආර්‍ය්‍යයෝ ධ්‍යානයෙන් යුක්ත පුද්ගලයා සුවසේ වෙසෙන්නෙකැ යි කියා , තෘතීය ධ්‍යානය උපදවා වාසය කෙරේ , හෙතෙම සුඛය ප්‍ර‍හාණය කිරීමේ දුඃඛය ප්‍ර‍හාණය කිරීමෙන් පළමුවෙන් සෝමනස්ස දෝමනස්ස දෙක නිරුද්ධ වීමෙන් උපේක්ෂාව නිසා පිරිසිදු වූ සිහිය ඇති චතුර්ථ ධ්‍යානය උපදවා වෙසේ මෙය සම්මාසමාධි වේ

මෙම උතුම් ධර්ම දානයේ සියලු පින් කුසල් දහම් ඔබගේ ප්රඥාව හා ධර්මාවබෝදය පිණිසම හේතු වේවා !